අවාසනාව ඉස්සර වෙයි - ශ්‍රී ලංකාවට නිදහසේ අවසානය අහිමිවෙයි

මාර්තු 17, 2018

Photo

70 වැනි නිදහස සමරමින් පැවැත්වෙන නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස අහිමිවිය.

ශකීබ්ගේ ආගමනයෙන් නිත්‍යනායකයාද සහිතව සන්නද්ධව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනිමින් සුපුරුදු ලෙස ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.

මිට පෙර ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා කළ උපනායක සුරංග ලක්මාල් හා දුශ්මන්ත චමීර වෙනුවට අද තරගයට අමිල අපෝන්සු හා ඉසුරු උදාන කැඳවා තිබිණ.

ඒ ඇරයුමෙන් පිටියෙන් පිවිසුන ද ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකිවූයේ ලකුණු 15 ක් ව තිබිය දී, ධනුශ්ක ගුණතිලක දැවීයාමත් සමගයි. මුලු ලකුණු 22 ක්ව තිබියදී අනෙක් ආරම්භක පිතිකරුවාවූ කුසල් මෙන්ඩිස් ද දැවී ගිය අතර මුලු ලකුණු 31 ක්ව තිබිය දී උපුල් තරංගද දැවද්දී දැවී ගියේය. ශෝට් කවර් ප්‍රදේශයට එල්ල කළ දුර්වල පහරකින් ලකුණක් සොරාගැනීමට උත්සාම දැරීමේ දී උපුල් තරංගට මෙම අවාසනාවන්ත ඉරණම අත්විය.

නැවතත් අසාර්ථක වූ දසුන් ශානක මුලු ලකුණු 32 දී, ලකුණු නොලබා දැවී යද්දී ජීවන් මෙන්ඩිස් ලකුණු 3 ක් ලබා සිටියදී මුලු ලකුණු 41 දී දැවී ගියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක පෙර සලකුණු පෙන්වමිනි.

කෙසේ වෙතත් හයවැනි කඩුල්ල වෙනුවෙන් අනර්ඝ ඉනිමක් දියත් කළ නායක තිසර පෙරේරා හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 97 ක සබඳතාවක් පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ස්ථානයකට ගෙන ගියේ අර්ධ ශතක දෙකක් වාර්තා කරමිනි.

තිසර ජාත්‍යන්තර 20/20 පිටියේ වාර්ථා කළ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා අතරට එක්වද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් 20/20 ජාත්‍යන්තර දිවියේ ලකුණු 1000 සීමාව අඩුම තරග සංඛ්‍යාවකින් රැස්කළ ක්‍රීඩකයා ලෙස කුසල් ජනිත් වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු දෙක ලකුණු 33 ක් තුළ දැවී ගිය ද තමීම් ඉක්බාල් හා මුෂ්ෆිකූර් රහීම් තුන්වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩ නැගීය.

තමීම් ලකුණු 50 ක් හා මුශ්ෆිකූර් ලකුණු 28 ක් රැස් කළේය.

තරගයේ අවසන් පන්දුවාරයේ දී බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 12 ක් රැස්කිරිමට අවශ්‍යවිය.

බංග්ලාදේශ ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දීම ආබාදයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට නැවත පන්දු රැකීමට හො පැමිණීමට නොහැකිවීම හේතුවෙන්, අවසන් පන්දුවාරය යැවීමේ වගකීම හිමිවූයේ ඉසුරු උදානටයි.

ක්‍රීඩාගාරයෙන් ලැබුණු පණිවිඩයක් අනුව යමින් දෝ ඉසුරු පළමු පන්දු දෙකේ දී කෙටි පන්දු දෙකක් යොමු කරමින් බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අභියෝගයක් එල්ල කළේය.

අවසන් පන්දුවාරයේ උණුසුම් තත්ත්වය

දෙවැනි පන්දුවේ දී, ලකුණක් ලබා ගැනීමට පැති මාරුකරගැනීමට යාමේදී, මුස්ථෆිසුර් රහ්මාන් දුවද්දී දැවී යාමත් සමග අනෙක් අන්තයේ සිටි මහමදුල්ල පැති විනිසුරු වෙත ගොස් සිය අප්‍රසාදය පළ කරනු දැක ගත හැකි විය.

ඒ අතරතුර පිටියට පිවිසි බංග්ලාදේශ අතිරේක ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග වාචික සංග්‍රාමයක පැටලීම හේතුවෙන් තරගය මදක් නතර කෙරිණ.

බංග්ලාදේශ ක්‍රීඩකයන්ගෙන් අශෝභන හැසිරීමක්; ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද පැටලෙයි (කියවන්න)

ඉන් අනතුරුව පන්දු 4 කින් ලකුණු 12 ක ඉලක්කයක් හඹායාමේ වගකීම භාරගත් මහමදුල්ලා හතරේ පහරක් හා ලකුණු දෙකක් ඉතිරි පන්දු දෙකේදී වාර්තා කරමින් අවසන් පන්දු දෙකට ලකුණු 6 ක් දක්වා ජයග්‍රහණය ළං කරගත්තේය‍.

දෙවැනි පන්දුවෙන් පසුව සිය සංයමය හා උපක්‍රමශීලී බව ගිලීහුණු ඉසුරු උදාන පස්වැනි පන්දුව පා ඉන්න වෙත යොමු කිරීමත් සමග මහමදුල්ලා මිඩ්විකට් කලාපයෙන් හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රහණය වාර්තා කළේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීය.

ඒ අනුව ඓයිතිහාසික නිදහස් කුසලානයේ අවසන් තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව ඉවතට විසි වූයේ, සංචාරක බංග්ලාදේශයට හා ඉන්දියාවට අවසන් තරගයේ දොරටුව විවෘත කරදෙමිනි.

අවසන් මහා තරගය ලබන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

තරගයෙන් පසුවත් උණුසුම් තත්ත්වයක් (කියනවන්න)

© Island Cricket

Comments

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.